වරාය නගරයට තිරසර නාගරික සැලසුම්: තරගාවලියේ ප්‍රථම ස්ථානය SOM සමාගමට | දිනමිණ

වරාය නගරයට තිරසර නාගරික සැලසුම්: තරගාවලියේ ප්‍රථම ස්ථානය SOM සමාගමට

වරාය නගර පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමට නියමිත මූල්‍ය දිස්ත්‍රික්කය හා සැහැල්ලු යාත්‍රාංගණය සඳහා නිර්මාණශීලී හා තිරසාර නාගරික සැලසුම් ඉදිරිපත් කිරීමේ සංකල්ප තරගාවලියේ ජයග්‍රාහකයන් ලෙස ප්‍රථම ස්ථානය හිමිකර ගත් Skidmore, Owings, and Merill (SOM) සමාගම වෙත සම්මාන පිරිනැමීම සිනමන් ග්‍රෑන්ඩ් ‍හෝටලයේ දී පසුගිය දා සිදුකෙරිණි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මඟින් පවත්වන ලද මේ තරගාවලිය ජාත්‍යන්තර සැලසුම් තරග සඳහා නිර්දේශ කර ඇති UIA_UNESCO මාර්ගෝපදේශ මාලාවට අනුව සිදුකර ඇති අතර, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ (SLIA) ස‍හයෝගය ද ඒ සඳහා ලැබී ඇත. මේ තරගාවලිය සඳහා ලොව ප්‍රධාන පෙළේ සැලසුම් සමාගම් වන ජපානයේ Nikken Sekkei, අමෙරිකා එක්සත් ජනපදයේ Gensler ආයතනය හා Skidmore Owings and Merrill ආයතනය (SOM) සහභාගි වූ අතර, ඒ අතරින් SOM සමාගම ජයග්‍රහණය කළේ ඔවුන් විසින් ඉදිරිපත් කර තිබූ නිර්මාණයේ උසස් බව නිසා පමණක් නොව එය ශ්‍රී ලංකාවට උචිත වන පරිදි ඉදිරිපත් කර තිබූ හෙයිනි.

නාගරික සැලසුම්කරණය හා ක්‍රමෝපායික ඉඩම් භාවිත සැලසුම්කරණය සම්බන්ධයෙන් වසර 30කට වැඩි අත්දැකීම් ඇති ගෘහනිර්මාණ ශිල්පීන්ගෙන් විනිශ්චය මණ්ඩලය සමන්විත වූ අතර, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය නියෝජනය කරමින් වසර 50කට වැඩි අත්දැකීම් ඇති නගර සැලසුම් ශිල්පියකු වන පාලි විජේරත්න මහතා ද එයට ඇතුළත් විය. මේ තරගයේ ජයග්‍රාහකයන්ට සම්මාන පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ, ලංකා ඉතිහාසයේ අතීතයේ නගර බිහිවීමට ශතවර්ෂ ගණනාවක් ගත වූවත් වර්තමානයේ අප විසින්ම සැලසුම් කරන නගරයක් ඉදිවෙමින් පවතින අතර, එය තව අවුරුදු 25කින් සම්පූර්ණ කරන බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අපගේ අනාගත පරපුරේ ඉල්ලීම් හා අවශ්‍යතා පිළිබඳව සලකා බලා විශිෂ්ට නිර්මාණ ශිල්පීන්ගේ දායකත්වය මේ ව්‍යාපෘතියට ලබාගත් බවයි.

උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සමාගමේ සභාපති, ගෘහ නිර්මාණ ශිල්පී ඩී. එච්. විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ මේ ආකාරයේ තරගාවලි සෑම නිර්මාණශීලී ව්‍යාපෘතියක් සඳහාම පැවැත්විය යුතු බවයි.

මෑත කාලයේ මෙවන් නිර්මාණ තරග ලෝක ප්‍රවණතාවක් ලබා ඇති බවත් එමගින් විවිධ විකල්ප හඳුනා ගැනීමට හා ව්‍යාපෘති ආරම්භකයන්ට වඩාත් සුදුසු නිර්මාණාත්මක විසඳුම් ලබා ගැනීමට හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙවැනි තරගාවලි අප රටට නුහුරු දෙයක් වූවත් මෙයින් නව නිර්මාණශීලී පුද්ගලයන්ට අලුත් වේදිකාවක් නිර්මාණයවී එයින් බිහි වන්නේ විශිෂ්ට නිර්මාණශීලී විසඳුම් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...