හේරත්ගේ දඟපන්දුවෙන් මුල් පෙළ අසරණ වෙද්දී සිම්බාබ්වේ මැද පෙළ පිතිකරුවෝ ඉනිම ගොඩ නඟති | දිනමිණ

හේරත්ගේ දඟපන්දුවෙන් මුල් පෙළ අසරණ වෙද්දී සිම්බාබ්වේ මැද පෙළ පිතිකරුවෝ ඉනිම ගොඩ නඟති

ෆවුස් මොහොමඩ්

රංගන හේරත්ගේ දඟපන්දුව හමුවේ සිම්බාබ්වේ පිලේ දෙවැනි ඉනිමේදී මුල්පෙළ පිතිකරුවන් අසරණවුවත් සිකන්දර් රාසා ඇතුළු මැදපෙළ පිතිකරුවන් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය ඊයේ නිමාවනවිට කඩුලු 6කට ලකුණු 252ක් ලබා ශ්‍රී ලංකා පිලට අභියෝගයක් ගෙන දිය හැකි ලකුණ සංඛ්‍යාවක් කරා සිය කණ්ඩායම රැගෙන යාමට සමත්වූහ.

ලකුණු 59කට කඩුලු 5ක්ම බිඳ වැටුණු සිම්බාබ්වේ ඉනිම ගොඩගත් සිකන්දර් රාසා ඊයේ දිනය නිමාවනවිට නොදැවි ලකුණු 97 ක් ලබා සිය මංගල ටෙස්ට් ශතකය එළිපත්තේ සිටි අතර ඔහුට අනගි සහයක් දුන් මැල්කම් වොලර් නොදැවී ලකුණු 57ක් ලබා සිටියේය. ඒ අනුව සිම්බාබ්වේ පිල ලකුණු 262ක් ඉදිරියෙන් සිටින්නේ කඩුලු 4ක්ද අතැතිවය. රාසා සහ වොලර් අතර 7 වැනි කඩුල්ලේ නොදැවුණු සම්බන්ධතාව ලකුණු 107කි.

ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ඊයේ උදෑසන ලකුණු 346කට සීමා කරමින් ලකුණු 10ක වාසියක් සමග දෙවැනි ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ පිලේ පළමු කඩුලු 4ම දිවා ආහාරයට පෙර බිඳ වැටුණේ ලකුණු 23ක් ඇතුළතය. එහෙත් දිවා ආහාරයෙන් පසුව පස්වරු තේ පානය අතර කාලයේ සිම්බාබ්වේ පිලේ බිඳ වැටුණේ ෂෝන් විලියම්ස්ගේ කඩුල්ල පමණි. හේරත්ගේ සිවුවැනි කඩුල්ල ලෙස ඔහු දැවී යද්දී කඩුලු 5කට ලකුණු 59ක් ලෙස සටහන් වූණු ලකුණු පුවරුව තේ පානය වනවිට ලකුණු 126 දක්වා ඉහළ දැමීමට සිකන්දර් රාසා සහ පීටර් මුවර් සමත්වූහ. තේ පානයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට මැනවින් මුහුණදුන් මේ දෙදෙනා 6 වැනි කඩුල්ලට ලකුණු 86ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිම්බාබ්වේ පිල කදිමට පිළිසකර කළහ.

ඊයේ දිවා ආහාරයට මිනිත්තු 48ක පමණ කාලයක් ඉතිරිව තිබියදී ඇරැඹුණු සිම්බාබ්වේ පිලේ දෙවැනි ඉනිමේ දී සුරංග ලක්මාල් සමග පන්දු යැවීම ආරම්භ කළ රංගන හේරත් ඔහුගේ දෙවැනි ඕවරයේදී රෙගිස් චකබ්වාගේ පිට ඉන්න බිඳ දමද්දී ඉනිම ආරම්භ වී මිනිත්තු 11කට වඩා නැත. අනතුරුව ඔහු යැවූ ඉතිරි ඕවර 2කදීම පිට පිට තවත් කඩුලු 2ක් බිඳ වැටිණි.

හේරත්ගේ විස්මිත පන්දු හමුවේ දැඩි පීඩනයට පත්ව සිටි ටරිසායි මුසකන්ඩා ලකුණු නොලබා දැවී ගියේ පීඩනයෙන් මිදීමට ඉහළින් එල්ල කළ පහර අන්තිමේදී උඩපන්දුවක් ලෙස මිඩ්විකට් කලාපයේ සිටි දිමුත් කරුණාරත්න සුරැකිව ඩැහැගැනීමත් සමගිනි. මිනිත්තු 32ක් පිටියේ රැඳී සිටි හැමිල්ටන් මසකඩ්සා ලකුණු 7කට දැවී ගියේ හේරත්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.

පිටියේ විනිසුරු දුන් තීන්දුව අභියෝගයකට ලක් කළ මසකඩ්සා රුපාවාහිනි විනිසුරුගේ සහය පැතුවත් තීන්දුවේ වෙනසක් නොවීය. සුරංග ලක්මාල් ඕවර 3කින් නතර කළ නායක චන්දිමාල් ප්‍රතිවාදින් තවත් සිරකරමින් අනෙක් අන්තයෙන් ඩිල්රුවන් පෙරේරා කැඳවීමෙන් පසුව සිම්බාබ්වේ පිලේ පළමු ඉනිමේ ගැලවුම්කාරයා වූ ක්‍රෙග් අර්වින්ට වැඩිවේලාවක් පිටියේ රැඳී සිටීමට හැකිවූයේ නැත. ඩිල්රුවන්ගේ පන්දුවකට ඔහු එල්ල කළ පහර ස්ලිප් හී පන්දු රකිමින් සිටි දිමුත්ගේ දක්ෂ උඩපන්දු රැකීමකින් ඔහු දැවී ගියේ ලකුණු 5කටය. ඒ සමගම දිවා ආහාරයට තරගය නතර කෙරිණි.

ඊයේ උදෑසන ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 346කදී නිමාවට පත්විය. රංගන හේරත් සමග එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 48ක සම්බන්ධතාවක් ගොඩනැගූ අසේල ගුණරත්න ශ්‍රී ලංකා පිල ලකුණු 300 සීමාවෙන් ඔබ්බට ඇදගෙන ගියේ ඔහුගේ වම්පාදයේ කලවේ නහරයක ඇතිවූ ආබාධයක් ද සහිතවය. කෙසේවෙතත් ඔහුට සතියකට අධික කාලයක් විවේක ගැනීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බැවින් මේ තරගයේ ඉතිරි භාගයේදී පන්දු රැකීමට හෝ පන්දු යැවීමට ඔහුට අවස්ථාව අහිමිවී ගියේය. ඊයේ ඔහු වෙනුවට ධනුෂ්ක ගුණතිලක පන්දු රැකීම සඳහා යොදවා තිබිණි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරු ලෙස ගුණරත්න දවාගත් ක්‍රීමර් ඉනිම පුරා කඩුලු 5ක් දවාලමින් සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් විය.

තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා උදෑසන සිම්බාබ්වේ පිලේ පළමු ඉනිම නිමාවට පත්වූයේ ලකුණු 356කටය. අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ වාර්තාගත ඉනිමක නිරතවූ ක්‍රෙග් අර්වින්ය. ඊට පෙර ඩොනල්ඩ් ටිරිපානෝගේ කඩුල්ල දවාලමින් සිය ටෙස්ට් තරග දිවියේ ඉනිමක කඩුලු 5ක් දවාලූ 30 වැනි අවස්ථාව සටහන් කිරිමට රංගන හේරත් සමත්විය.

අනතුරුව සිය පළමු ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 84ක සම්බන්ධතාවක් ගොඩනැගුවත් මුලු ලකුණු සංඛ්‍යාව 116ක් වෙද්දී පිතිකරුවන් තිදෙනකුම ක්‍රීඩාගාරයට හරවා යැවිමට සිම්බාබ්වේ පිලේ පන්දු යවන්නෝ සමත්වූහ. පෙරේදා දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 293ක් විය.

අද තරගයේ සිවුවැනි දිනයයි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...